අඟුරු කකා වතුර බොමින් දුම්රියට පණ දුන් වාෂ්ප එන්ජිම – Engines of loco – Sri News

0
21

සැලියක් හොඳට මූඩියකින් වසා ගින්දර පත්තුකර වතුර රත්වෙන කොට දුම් බලයෙන් ඒ මූඩිය ඇරෙන බව මේ කියවන්නා සමහරවිට දකින්නට ඇත. ගින්දර සැරව තිබෙද්දී දුම යන්ට නුදුන්නොත් සැලිය පුපුරන තරම් දුම වදිනවා ඇත. යකඩෙන් නොහොත් තඹෙන් තනාපු ලොකු භාජනේක වතුර පුරවා දුම් කරත්තේ තිබෙනවාය. ඒකේ යට අඩි පහලොවක් පමණ දිගින් ගින්දර පත්තු කරනවාය. මේ රස්නයෙන් වතුර ඉතා තදෙන් උතුරනවාය. දුමද ඉතා බලවත්කමෙන් පිට පනිනවාය. මේ දුම් කව ඇති යකඩ ලෑල්ලක යටින් තිබෙන කානුවකින් අරිනවාය. ඒ යකඩ ලෑල්ල වටවූ භාජනේක ඉනගුකර සාදා තිබෙනවාය.

ආදි ලෙසින් මේ දුම්රිය ගැන සිංහලෙන් ලියූ විස්තරය ලියවි ඇත්තේ 1850 පෙබරවාරි මස පල වූ සිංහල පුවත්පතක් වූ ලංකා නිධානයේය. කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමිපානන්ගේ සිංහල පුවත්පත් ඉතිහාසය පොතෙන් මේ උපුටා ගන්නා ලදී.

ආදී ලෙස එම ලිපියේ එවකට ලංකාවට හඳුන්වාදෙමින් තිබූ දුම්රිය ගැන කදිම විස්තරයක් සදහන් වී තිබේ. කරත්ත හැර කිසිදාක දුම්රියක් නොදුටු එවකට ලංකා මනුෂ්‍යයන්ට දුම්රියක් විස්තර කරදීම කෙතරම් අපහසු කාර්යක් වේදැයි එම ලිපිය කියවා බැලීමෙන් පෙනේ.

 

19 වන සියවසේ කාර්මික විප්ලවය කෙරෙහි වාෂ්ප එන්ජිමේ බලපෑම ප්‍රබල එකකි. 1968 සිට දියුණු වෙමින් පැමිණි වාෂ්ප එංජිම 1763 දී සැබෑ නිමැවුමක් ලෙස ස්කොට් ජාතික ඉන්ජිනේරු ජේම්ස් වොට් ගේ මැදිහත් වීමෙන් නිමවුනි. එය පසුකලෙක වාෂ්ප දුම්රිය සදහාද මූලික විය.

මුලින්ම වාෂ්ප දුම්රිය එංජිමක් සාදා එය සාර්ථකව ධාවනය කළේ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරු ජෝජ් ස්ටීවන්සන්ය. ඔහු 1825 දී වාෂ්ප එංජිමක් ආධාරයෙන් මගී දුම්රියක් ධාවනය කරන්නට සමත් විය.

1830 දී ඇමරිකාවට ද කඩාවැදුනු මේ බලගතු ප්‍රවාහන මාධ්‍යය ඇමරිකාව තුලද ජනප්‍රිය වන්නට විය.

 

ස්ටීම් එන්ජිමට බලය සැපයූයේ ගල් අඟුරු වලිනි. ගල් අඟුරු බලයෙන් ජලය නටවා උතුරුවා ඉන් ලැබෙන වාෂ්ප බලයෙන් දුම්රිය ධාවනය සිදු විය. මුලදී වාෂ්ප එංජින් බලයෙන් ධාවනය වූ දුම්රිය බඩු භාන්ඩ ප්‍රවාහනයට යෙදිනි. එහෙත් පසුව එය මගී ප්‍රවාහනයටද ඉක්මණින්ම යොදාගන්නා ලදී.

මුල්කාලයේදී වාෂ්ප බලයෙන් ධාවනයේදී මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ දුම්රිය එන්ජින් සදහා ඇතිපදම් ගල් අඟුරු සපයාගත හැකිව තිබුණි. ඇමරිකාවට ගිය වාෂ්ප එන්ජිමට ඉන්ධන ලෙස දර භාවිතා විය. ඔවුන්ගේ ඇතැම් වනාන්තර පදාසයන් පිටින් දවමින් වාෂ්ප එන්ජිම පීලි මත දුවන්නට විය. ඇතැම් තැනක සීනි නිෂ්පාදනයෙන් ඉවතලන උක් පල්ප යොදාගෙනද මුල්කාලයේ වාෂ්ප එන්ජිම පණගැන්වී තිබේ. එහෙත් පසුකාලීනව වාෂ්ප එන්ජිමේ බලය ගනු පිණිස වඩාත් කාර්යක්ෂම ගල් අඟුරු භාවිතය කෙරහි මුලු ලොවම යොමුව තිබේ.

 

වාෂ්ප දුම්රියේ ගමනට උවමනා තරම් ගල් අඟුරු සහ ජලය අවශ්‍යය. ඒ සදහා දිගු දුර දුම්රිය ගමන් වලදි ජලය සහ අඟුරු සපයාගැනිමේ පහසුව තිබිය යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. ඇතැම් ලංකාවේ දුම්රිය ස්ථානවල තවමත් ඉතිරි වී ඇති විශාල වතුර ටැංකි සහ වතුර සපයන කනුව ඒ වාෂ්ප දුම්රිය සේවය පැවති සමයේ නෂ්ඨාවශේෂයෝ වෙති.

වාෂ්ප දුම්රියේ මගී ගමනාගමනය සුන්දර එකක් නොවේ. දුම්රිය එන්ජිමෙන් නික්මෙන ගල් අඟුරු සහ ජලවාෂ්ප සහ කළු දුම දුම්රියේ යන මගීන්ගේ ඇගේ වැදීම එකල සාමාන්‍ය දෙයක් විය.

 

ලංකාවේ මහා බ්‍රිතාන්‍යයේ ස්විට්සර්ලන්තයේ තවමත් ඉඳහිට වාෂ්ප දුම්රිය සංචාරක අවශ්‍යතාවයන් සදහා ධාවනය වේ.  කාර්මික විප්ලවයේ වාෂ්ප එන්ජින් සහ ගල් අඟුරු භාවිතය නිසා 1900 කාලයේ මුල් කාලවල ඇමරිකාවේ නිව්යෝක් නගරය කළු දුමාරයකින් වැසී ගොස් තිබුණි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here